Out In The Open Rotating Header Image

ආදරණිය ප්‍රගීත් අන්කල් | ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී අදට මාසයයි

[ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී අද වන විට මාසයක් ගත වී ඇත. ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් එළිපිට කතා බහ නොකෙරේ. කිසිදු ආකාරයේ ප්‍රධාන ව්‍යාපාරයක් ඔහු වෙනුවෙන් ඇසෙන මානයේ හඬ නගන බවක් පෙනෙන්නට නැත. මෙවැනි වටපිටාවක අප වැන්නන්ට කල හැකි දෙයක් නොමැති වුවද අවම වශයෙන් හෝ විරෝධය දැක්වීමක් ලෙස මෙම ලිපිය පළ කිරීමට අදහස් කරමු.]

ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ’ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තුමාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට. මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි ’ප්‍රගීත් අන්කල්’ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද? 

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!

මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැෙඳන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති පී්‍රතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබවපැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ කොයිතරම් අල්පද?

ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් -අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක‍ෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩාඅමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟතබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ගෙඟ පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹවීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයියතිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මටවිශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව

Ruwandi Neranjala | රුවන්දි නෙරංජලා

සිංහල බ්ලොග්කරණය කොයිබටද?

සිංහල බ්ලොග්කරුවන් ලෙසත් සිංහල බ්ලොග්කරණය ලෙසත් අද ජනප්‍රිය ලෙස හැඳින්වෙන දේ දෙස බලනවිට හැඟී යන පළමු කාරණය වන්නේ මෙහි යෙදෙන බොහෝ දෙනා බ්ලොග්කරණය හෝ එහි සීමා පිළිබඳ වැඩි අවබෝධයකින් යුක්ත නොවන බවයි. පසුගිය දින වලදී එක් අඩවියක් වටා යෙදුණු කතා බහ නිරීක්ෂණය කිරීමේදී ද මෙම ලක්ෂණය බොහෝ සෙයින් විද්‍යාමාන වනු දක්නට ලැබිණි.

ලංකාවෙන් පිට බ්ලොග්කරණයේ භුමිකාව දෙස බැලුවහොත් එය විශාල වශයෙන් සමාජ දේශපාලනික ක්‍රියාදාම තුල වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව දැකිය හැක. පුවත්පත්, රූපවාහිනී වැනි සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය සඳහා සැලකිය යුතු විකල්පයක් ලෙස බ්ලොග්කරණය ප්‍රචලිත වෙමින් පවතී. ඒකාධිපති පාලනයන් සහිත රාජ්‍ය තුල ප්‍රධාන විරෝධය එල්ලවන්නේ පාරේ සිදුවන විරෝධතා ව්‍යාපාරවලටත් වඩා බ්ලොග් අඩවි තුලින් යැයි පැවසුවහොත් එය නිවැරදිය. මෙවැනි ර‍ටවල් තුල බ්ලොග්කරණය ක්‍රම ක්‍රමයෙන් තහනම් වෙමින් යෑමද වැඩි වැඩියෙන් බ්ලොග්කරණයේ ඇති සමාජමය වගකීම විදහා දක්වයි. ඊජිප්තුව තුල ආණ්ඩු විරෝධී බ්ලොග්කරණයේ යෙදුනු බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් මරා දැමීමද තවත් අය අතුරුදන් වීමද, පුරුෂාධිපත්‍ය උපරිමව ඇති රටවල කාන්තා අයිතීන් පිළිබඳ ප්‍රධාන හඬ බ්ලොග්කරණය හරහා යොමුවීමද බ්ලොග්කරණයට යා හැකි දුර පිළිබඳ සූචකයන්ය.

නමුත් අවාසනාවකට සිංහල බ්ලොග්කරණය මෙලෙස වර්ධනය වීමකට ලක්වී නොමැත. එහි බහුතරයක් අතර තවමත් ඇත්තේ තාක්ෂණික හා පෞද්ගලික ප්‍රකාශනයන් පමණක් වන අතර සමාජමය හා දේශපාලනමය වශයෙන් වැදගත්කමක් ඇති බ්ලොග් අඩවි සුළු ප්‍රමාණයකට සීමා වී ඇත. එලෙස පවතින බ්ලොග් අඩවි වලට පවා විරෝධයක් සියුම් ලෙස ගොඩ නැගෙමින් පවතී. මෙම සටහන යතුරු කෙරෙන්නේ එවැනි සන්දර්භයක් තුලය.

සිංහල බ්ලොග්කරණයේ වැඩි කොටසක් සින්ඩිකේටරයක් වටා එක්රැස් වී එහි ඇති නීති රීති වලට අනුගත වෙමින් විවිධ රාමු වලට තමාව කොටු කරගෙන යමින් සිටිනවා කීම වැරැද්දක් නැත. සිංහල බ්ලොග් ආරම්භයේදී සින්ඩිකේටරවත් ගූගල් සමූහවත් නොතිබුණු අතර එවකට බ්ලොග්කරණය යනු බ්ලොග්කරණය මිස සින්ඩිකේටර අලංකාරව තබා ගැනීමට කරන ව්‍යායාමයක් නොවිණ. තමන් කැමති ආකාරයට තමන්ගේ අදහස්, සිතුම් පැතුම්, දැනුම සෙසු ලෝකය හා බෙදා ගත් අතර එය මාස තුනකට සැරයක් වත් කල යුතු යැයි සීමා පැවරී නොතිබුණි. ගූගල් සමූහ පසුව පින්තූරය තුලට පැමිණෙන්නේ බ්ලොග්කරණය සම්බන්ධ ආකල්ප වර්ධනයට හා අංකුර බ්ලොග්කරුවන් හට අත්වැලක් වශයෙනි. සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙන අතර බ්ලොග් මැරතන් පැවැත්වෙන්නේ එවැනි ක්‍රියාකාරකමක් ලෙසිනි. සින්ඩිකේටර සිංහල බ්ලොග්කරණයේ පලමුවරට භාවිතා වන්නේ මෙම පලමු බ්ලොග් මැරතන් අවස්ථාවටත් ප්‍රථමය. දැන් පවතින සින්ඩිකේටරයට අඩිතාලම වැටෙන්නේ එම මැරතන් අවස්ථාවට නිර්මාණය කරන සින්ඩිකේටරය හා ඊට ප්‍රථම පැවති සින්ඩිකේටරය එකතුවෙනි.

බ්ලොග් කියවීම සඳහා සින්ඩිකේටර මගින් ලැබෙන සහය නොමඳ බව කිව යුතුය. නමුත් යමෙකුට Google Reader හෝ එයාකාරයේ වෙනත් Feed Aggregator එකක් භාවිතයෙන් බ්ලොග් අඩවි කියවිය හැකි බව රහසක් නොවේ. කොටින්ම කියනවානම් RSS/Atom feed තාක්ෂණය බිහිවන්නේ‍ද බ්ලොග් කියවීම පහසු කරවීම යන අරමුණ පෙරදැරිකරගෙනය.

නමුත් සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටරයක භූමිකාව බ්ලොග් කියවීමට වඩා වෙනස් ආකාරයකට පත් වී ඇත. මුල් කාලයේදී බ්ලොග් වෙනුවෙන් සින්ඩිකේටර පැවතුන නමුත් දැන් සින්ඩිකේටර වෙනුවෙන් පවතින බ්ලොග් රාශියකි. නවක බ්ලොග්කරුවන් බිහිවන්නේ සින්ඩිකේටරයටය. ඒ අර්ථයෙන් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන්නේද සින්ඩිකේටරයක් වෙනුවෙනි. සින්ඩිකේටරයට බ්ලොග් ඇතුළත් කර ගැනීමේදී සඳහන් කර ඇති නීති පද්ධතියෙන් පිටතට යෑමට ඔවුන් නිර්භය වන්නේ නැත. ඒ ඔවුන්ගේ ඇස් ඉදිරිපිට සින්ඩිකේටරයකින් තොර බ්ලොග්කරණයක් නොමැති බැවිනි. සැබෑ ප්‍රකාශනයෙන් ඈත් වී ඊනියා ආචාර ධර්ම පද්ධතියක් යොදා ගෙන තමාව ස්වයංවාරණයකට ලක් කර ගැනීමට මොවුන් පෙළඹී ඇත. එනම් ද්විතීයක අගයකින් යුත් සින්ඩිකේටර දැන් බ්ලොග්කරණය පාලනය කිරීමට තරම් ඉදිරිපත් වී ඇත.

සත්‍ය බොහෝ විට ජනප්‍රිය මතවාදයට පටහැනිවන අතර සින්ඩිකේටර හා සිංහල බ්ලොග්කරණය පිළිබඳවද එය එසේමය. බ්ලොග්කරණයට පිවිසෙන්නන් හට ඍජුව හෝ වක්‍රව ලබා දෙන අදහස වන්නේ ඔවුන්ගේ බ්ලොග් අඩවිය ප්‍රචාරණය කිරීමට තිබෙන එකම ක්‍රමය සින්ඩිකේටරය බවයි. ඔවුන් සින්ඩිකේටරයෙන් එළියට ඇද දැමුවහොත් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන අන්තිම දවස එය බව නොපවසා පැවසේ. එලෙස එළියට ඇද ‍නොදැමීමටනම් සෑම විටම සින්ඩිකේටරයේ නීති වලට අනුව බ්ලොග්කරණයේ යෙදිය යුතු අතර එහි පාලකයින්ට විරුද්ධව ඇඟිල්ලක් එසවීම නොකල යුතුය. නමුත් සත්‍යය මෙය ද? මෙය අපට මතක් කර දෙන්නේ ඇමෙරිකානු නැගෙනහිර තීරයේ නගර තුල ක්‍රියාත්මක වුනු ඉතාලි මාෆියාවයි.

බ්ලොග් අඩවියක් ප්‍රචාරය කර ගැනීම සඳහා ඇති එකම මාධ්‍යය සින්ඩිකේටර නොවේ. සිදුවන්නේ බොහෝ විට අනිත් පැත්තයි. සින්ඩිකේටර පවතින්නේ හා වැඩිදියුණු වන්නේ එහි පලවන බ්ලොග් අඩවි වල ගුණාත්මක භාවය මතයි. අන්තර්ජාල පහසුකම් හා භාවිතය වැඩිදියුණු වී නව මානයන් කරා ඇදෙන, විශේෂයෙන්ම Web 2.0 යුගයද පසු කර Web 3.0 පූර්ව දර්ශනයවන මානයේ ඇති නවීන ලෝකය තුල බ්ලොග් සටහනක් ලෝකය පුරා නොමිලේ ප්‍රචාරය කිරීමේ නොහැකියාවක් නැත.

Facebook හා Twitter මෙම ප්‍රචාරණ ක්‍රම සඳහා කදිම උදාහරණ වේ. යම් සබැඳියක් (link එකක්) පල කල විට share හා retweet කිරීම මගින් වෛරසමය ආකාරයේ ප්‍රචාරණයක් ලබා ගැනීම සතයක් වත් වියදම් නොවී සිදු කල හැක. ස්පෑම් කිරීමකින් ‍තොර වූ ඊමේල් ක්‍රියාවලියකින් ද මීට සමාන ප්‍රතිපලයක් ලබා ගත හැක.

නමුත් දැන් බොහෝ දෙනෙක් ‍මා හට ඔවුන්ගේ අඩවි තුල අටවා ඇති hit counter ‍සටහන් පෙන්වමින් සින්ඩිකේටරයට ඇතුළු කිරීමෙන් පසුව අඩවියට පැමිණෙන පිරිස් බොහෝ ලෙස වැඩි වූ බව පෙන්වනු ඇත. මෙහි සත්‍ය අසත්‍ය භාවය කුමක් ද?

ඇමෙරිකානු ජාතික එක් මිතුරෙකුගෙන් මීට දින කිහිපයකට පෙර විමසූ පසු ලැබුණු පිළිතුර මේ සඳහා සුදුසුම පිළිතුර යැයි මම සිතමි. ඔහුගේ පෞද්ගලික අඩවියට දිනකට පැමිණීම් 1000ක් පමණ සිදුවේ. ඔහු සිදු කරන එකම ප්‍රචාරණය twitter මගින් පමණි. Facebook භාවිතයක් නොමැත. කොටින්ම සින්ඩිකේටරයක අවශ්‍යතාවය ඔහුට වැටහෙන සීමාවක නැත. ඔහු Ubuntu මෙහෙයුම් පද්ධතිය සඳහා වටිනා මෘදුකාංගයක් නිපදවා ඇති අතර එය බාගත කරගන්නා පිරිස ලෝකය පුරා විසිර ඇත. Hit ප්‍රමාණය පිළිබඳව ඔහු පැවසූයේ ප්‍රමිතියකින් හා තත්වයකින් යුතු අන්තර්ගතයන් පළකරන තාක් කල් ඔබගේ අඩවියට ලැබෙන hit ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු බවයි.

මෙම තත්වය අප අත්දුටු දෙයකි. සිංහල භාෂාව ලොව පුරා ව්‍යාප්ත නොවූ බසකි. එය ඉංග්‍රීසි භාවිතා කරන අපගේ ඇමෙරිකානු මිතුරා හට වැඩිපුර ඇති වාසියකි. නමුත් අප කවුරුත් දන්නා ටැබූ සිංහල භාවිතා කරමින් බ්ලොග්කරණයේ නියැලුණු කාලයේ දීත් දිනකට hit 1000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වේ. ඔහු සින්ඩිකේටරයකින් ඉවත් වූ පසුත්, භාෂාව ඉංග්‍රීසි වෙත මාරු කල පසුත් එම hit ප්‍රමාණය එලෙසින්ම පැවතීම සින්ඩිකේටරය හා බ්ලොග් අඩවියක ගුණාත්මක භාවය අතර ඇති අසම්බන්ධය මැනවින් විදහා පාන්නේය.

සින්ඩිකේටරයක් තුලින් ඔබගේ අඩවිය වෙත පැමිණෙන්නේ සත්‍ය වශයෙන්ම එය කියවීමට අවශ්‍ය හෝ ඒ සඳහා උනන්දුවක් ඇති අය යැයි කිව නොහැක. බොහෝ විට පැමිණෙන අය මුල් තත්පර 30 තුලදී පිටවීමද සිදු විය හැක. මෙය වඩාත් හොඳින් දැක ගත හැකි එක් දර්ශකයක් වන්නේ Average Time on Site යන්නයි.

සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටර ආරම්භ වන්නේ මෙවැනි සන්දර්භයක් රැගෙන නොවේ. මුලදී ඇතිවන එකඟතා දැන් පවතින මර්ධනකාරී ඊනියා ආචාර ධර්ම වලට සහමුලින්ම වෙනස් වූ බවද බොහෝ දෙනා නොදනී. බහුතරය සිතා සිටින ආකාරයට සිංහල බ්ලොග්කරණයේ පාලකයින් වීමට දඟලනා සුළු පිරිස මෙලෙස ඒකරාශී වූ සිංහල බ්ලොග්කරුවන්ගේ නිර්මාපකයින්ය. එම අදහස ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම සුළු පිරිස වක්‍රාකාරයෙන් ලබා ගන්නා වාසි ප්‍රමාණයද සුළු පටු නොවේ.

සිංහල බ්ලොග්කරණයේ ඉතිහාස පාඩමක් ලබා දීම අපට අදාල නැත. නමුත් මෙහි සත්‍ය නිර්මාපකයින්ට ඉතාමත් නින්දිත හා තුච්ඡ ආකාරයට මඩ ගසා, පවුල් පසුබිම් පවා සොයා බලා ප්‍රසිද්ධියේ අවමාන කර, තවමත් පාසැල් යන වයසේ නිසා කපටි සහගත ආකාරයෙන් (WHOIS වාර්තා පවා හොර රහසේ තමන්ගේ නමට වෙනස් කර ගනිමින්) ඉවතට දමා, අවසානයේදී එම අතීතයද වල දමා ඒ මත නැගී සිටින බොල් පිළිම ටිකකට බොහෝ දෙනා සිංහල බ්ලොග්කරණයේ දෙවියන් ලෙස ලබා වන්දනාමාන කරන බව කිව යුතුය. මෙය විශ්වාස කිරීමට නොහැකි අය සිටීනම් බ්ලොග් අඩවි ඒකමතිකව හා පෞද්ගලික හේතූන් මත ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න කල අපට මුලින් යුනිකේත සම්මතයේ විරෝධී අය යැයි හංවඩු ගසා (මුල් නිර්මාපකයින්ට එරෙහිව ද යොදා ගෙන ඇත්තේ මෙම ක්‍රමයයි) එය අසාර්ථක වූ පසු සිංහල බ්ලොග්කරණය කඩාකප්පල් කිරීමට දඟලන කුමණ්ත්‍රණකාරීන් ද කියා මඩ ගැසීමට උත්සහ කිරීම මතක් කර ගත යුතුය. ඉන්පසුව එක් එක් අයගේ ගිරා පෝතකයින් කඩේ යවමින් ඍජුව හා වක්‍රව අපගේ බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් කර ගන්නා ලෙස සිදු වූ බලපෑම් ද පෙන්වා දිය යුතුය.

සිංහල බ්ලොග්කරණයේ ආරම්භයේදී එහි නියමුවන් ලෙස සිටි අයත් (මෙම පුද්ගලයින් විසින් තමන් තමාගේ “වටිනා ධනය ශ්‍රමය හා කාලය ඒ සඳහා කැප කරන බව” පුන පුනා ජප කරමින් නොසිටි බව කිව යුතුය) වර්තමානයේ සිංහල බ්ලොග්කරණයේ නියමුවන් ලෙස පෙනී සිටීමට දඟලන පිරිස් දෙසත් බැලූ විට පැහැදිලි වන එක් කරුණක් ඇත. මුල් සාමාජිකයින් මෙන් බ්ලොග්කරණය මෙන් පුලුල් වූ අවබෝධයක් මොවුන් හට නොමැත. ඇත්තේ බ්ලොග්කරණය හා අන්තර්ජාලය පිළිබඳ තාක්ෂණික පසුබිම් දැනුමක් පමණි. අන්තර්ජාලය තුල පුද්ගලයින් ඒකරාශී වන වෙනත් සාම්ප්‍රදායික ආකාර වන Usenet, Forum, Mailing list වලින් බ්ලොග්කරණය වෙනස්වන්නේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ නිසි අදහසක් මොවුන්ට නොමැත. ඔවුන් ‍බ්ලොග් පාලනය කිරීමට කැසකවන්නේද ෆෝරමයක සටහන් පාලනය කරනා ආකාරයටය.

බ්ලොග්කරණයේ නොයෙදෙන, කලාතුරකින් බ්ලොග් අඩවියකට පැමිණෙන හා තාක්ෂණ හැර වෙනත් කිසිම දෙයක් පිළිබඳ අබමල් රේණුවකවත් දෙයක් නොදන්නා පිරිසක් මා බ්ලොග්කරණයේ යෙදිය යුත්තේ කුමන ආකාරයෙන්දැයි මට පැවසීම නොකල යුතු දෙයකි. ඊනියා සංසදයෙනුත් සින්ඩිකේටරයෙනුත් මාගේ බ්ලොග් අඩවි ඉවත් කර ගන්නේ මෙම හේතුව නිසාය.

කෙ‍සේ වෙතත් සිංහල බ්ලොග්කරණය මෙතෙක් කල් නැවතී සිටි අම්බලමෙන් පිටවී නව මං සොයා තම ගම‍න ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත. තමාගේ බ්ලොග් අඩවියට පැමිණෙන hit ප්‍රමාණයට වඩා තමන් එයට ඇතුලත් කරනා අන්තර්ගතයන්හි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන බුද්ධිමත් බ්ලොග්කරුවන් බිහිවීම මෙම අම්බලමේ නැවතී සිටින තාක්කල් සිදුවන්නේ නැත. මෙයින් සැමදා බිහිවන්නේ අසභ්‍ය නිසා ලිංගිකත්වය පිළිබඳ කට හොල්ලන්නේවත් නැති, මඩ නිසා දේශපාලනය දෙසවත් නොබලන, බිය නිසා admin වරුන්ට එරෙහිව කට හොල්ලන්නේවත් නැති, සින්ඩිකේටරය අලංකරණයේ යෙදෙන උයන් පල්ලන් පමණි.

මෙම උයන් පල්ලන් තේරුම් ගත යුතු දෙයක් ඇත. සිංහල බ්ලොග්කරණයේ පරම වූ අරමුණ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීම හෝ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීම වැනි ද්වීතියක කාර්යයන් නොව බ්ලොග්කරණය තුලින් සමාජයට වැඩදායී කාර්යයක් ඉටු කිරීම යන්නයි. එය දැනටමත් ඉටු කරනා ‍බොහෝ අය සින්ඩිකේටර වලින් පිටත බ්ලොග්කරණයේ යෙදේ. ඔවුන් තමන්ට hits නැති නිසා නහයෙන් අඬන්නේ නැත. ප්‍රතිචාර නොමැති නිසා බ්ලොග්කරණයෙන් ඉවත් වන්නේ නැත. එලෙසම ඔවුන් ලිවිය යුත්තේ කුමක්දැයි යන්න වෙනත් අය කියා දීමට යන්නේද නැත. ඔවුහු බ්ලොග්කරණයේ යෙ‍දෙති. සින්ඩිකේටර අලංකාර කිරීම ඔවුනට අදාල නැත. එය සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණයේ ඉදිරි අනාගතයද විය යුතුය. අදහස් ප්‍රකාශනය පමණක් පෙර දැරිකර ගත් පිරිසක් බ්ලොග්කරණය තුලින් බිහිවිය යුතුය. එදිනට අපට මීට වඩා පුළුල් පරාසයක් සිංහල බ්ලොග්කරණය තුලින් දැකිය හැකිය.

වැඩිදුර කියවීම සඳහා බ්ලොග්කරණය පිළිබඳ ක්‍රියාකාරී පහත අඩවි වෙත යන්න.

Global Voices OnLine - http://globalvoicesonline.org/

Threatened Voices | Global Voices Advocacy – http://threatened.globalvoicesonline.org/

Electronic Frontier Foundation | Bloggers’ Rights - http://www.eff.org/issues/bloggers

අවලංකම විග්‍රහ කර ගැනීමට උත්සහයක්

අහෝ පේරා!

නිෂ්මිලා බිහි කල නුඹට කුමක් වීද?

කලාව නැවත අර්ථ දැක්වූ සරච්චන්ද්‍රලා පිටව ගොහින් ද?

සියළු විශ්ව ශිල්පයන් දියව ගොසින් ද?

නැතිනම් මේ නුඹගේ අවසාන කාලයද?

ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ අපි ධනාත්මකව කතා කර ඇත්තෙමු. යම් තරමක හෝ (පවතින අර්ථ දැක්වීම වලට පටහැනි) නවක වදයක් පිළිබඳ විශ්වාසය තබා ඇත්තෙමු. ශිෂ්‍ය දේශපාලනය තුල අ.වි.වි.ශි.බ හා මහා ශිෂ්‍ය සංගමය වැනි සංවිධාන වල කාර්යය මතක් කර දීමට උත්සහ කෙරුවෙමු.

නමුත් අපගේ දැක්මන් සියල්ල සුනු විසුනු කරමින් අන්තරය නියෝජනය කරන තවත් කලු පැල්ලමක් අපගේ මතක සටහන් තුලට ඉතිරි කර ඇත. පේරාදෙණිය සරසවියට පිටින් පැමිණි ආගන්තුක සිසුන් පිරිසකට හා පිරිස භාර දේශකයින්ට පහර දීමට අන්තරේ නියෝජිතයින් හා හෙංචයියන් ඉදිරිපත් වී ඇත. මහ රෑ මාකස් පිරිමි නේවාසිකාගාරය තුලට ගැහැණු ළමයින්ද ඇතුළුව ආගන්තුක පිරිස බලෙන් කැඳවාගෙන ගොස් දේශකයින් දණ ගැස්සවීමට ද සිසුන්ට  පහර දීමටද මොවුන් නිර්භීත වී ඇත.

අන්තරය ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරය තුල සැලකිය යුතු ගෞරවයක් ලබා ගත් සංවිධානයකි. ශිෂ්‍ය ව්‍යාපාරයන් දැඩි ලෙස මර්ධනය වන සමයේදී නොබියව ඊට මුහුණ දුන් අන්තරයේ නායකයින් එමට ඇත. ඒ වෙනුවෙන් අනේක වධ විඳ මැරුම් කා ඇත. නමුත් වර්තමානය වන විට අන්තරයම ශිෂ්‍ය ව්‍යාපාරය හෑල්ලුවට ලක් කරමින් සිටී. තව දුරටත් සාධනීය ශිෂ්‍ය දේශපාලනයක් දක්නට නොමැත. ඇත්තේ ඇනුවල් විරෝධතා ව්‍යාපාර සහ කැට ව්‍යාපාර පමණකි. තව දුරටත් දේශපාලනික වූ සිසුන් නොමැත. ඇත්තේ අදේශපාලනික හීනමානකාරයින්ය. සරසවි තුල නිදහස් වාතාවරණයක් නොමැත. ඇත්තේ ඒවාටම ආවේණික අන්දමින් අන්තවාදී වූ දර්ශනයකි.

පේරාදෙණිය සරසවියේ පිහිටීමද එක් අතකින් සුවිශේෂ බව සමහරුන්ගේ මතයයි. හන්තාන කඳුවැටිය පාමුල නිම්නයක සාමාන්‍ය සමාජයෙන් වෙන්ව හුදකලාව පවතින එය ලංකාවේ එකම නේවාසික විශ්ව විද්‍යාලය වේ. ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රතිපාදන වලින් 25%ක්ම වෙන්වන්නේ පේරාදෙණිය සරසවිය වෙනුවෙනි. සරසවියට පැයක පමණ දුර ඇති මාතලේ සිසුන් ද නේවාසිකාගාර සඳහා සුදුසුකම් ලබන අතර උසස් ලෙස පවත්වාගන්නා බවට සාධකයක් වන්නේ වර්ශයකට සැරයක් මුලු සරසවිය පුරාම නැවත තීන්ත ආලේපනයයි (කොළඹ විශ්ව විද්‍යාලයට ආ දවසේ සිට NAT එකේ තීන්ත ගෑ වගක් අපට මතක නැත). ශිෂ්‍ය ජනගහනයෙන් වැඩි කොටස ගම පාදක කොටගෙන සරසවියට පැමිණෙන්නන්ය. පොලීසියට හෝ එවැනි වෙනත් ආයතනයකට ලෙහෙසියෙන් ඇතුළු වීමට වරම් නැති එක් ස්ථානයක් වන්නේද පේරාදෙණිය සරසවියයි.

මහාචාර්ය ශාන්ත කේ හෙන්නායකට අනුව අමානුෂික නවක වදය තවමත් ඉතිරි වී ඇති ලංකාවේ ප්‍රධානතම සරසවියක් වන්නේ පේරාදෙණිය සරසවියයි. ජවිපෙ කැරැල්ලේදී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල ඉදිරියෙන්ම සිටියේ කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයි. කලක් දකුණු ආසියාවේ ඉතාමත් ගුණාත්මකම සරසවියක් වුවත් අද එහි උපාධි පාඨමාලා වල තත්වය අනෙකුත් සරසවි හා සාපේක්ෂව පහල මට්ටමක ඇත. මෙසේ නිගමනයකට පැමිණෙන්නේ උසස් පෙළින් පසු විවධ සරසවි වලින් පිරිනැමෙන උපාධි පාඨමාලා සඳහා ඇති ඉල්ලුම සලකා බලමින්ය.

මෙම සන්දර්භය තුල පේරාදෙණිය අන්තරයේ නියෝජිතයින් යැයි කියන අදේශපාලනික හීනමානකාරී අවලං සත්වයින්ගේ හැසිරීම අපට විග්‍රහ කර ගත හැක. අමානුෂික නවක වදය මගින් සිසුන්ගේ මානසික මට්ටම පහත හෙලමින් ඔවුන් සෙමින් අමනයින් බවට පත් කරයි. අන්තරේ ක්‍රියාකාරීත්වය දැන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගමෙන් පැමිණෙන සිසුවා හා හීනමානය යන මූලද්‍රව්‍ය දෙක එකතු කිරීමේ සාර්ථකත්වය මතයි. තවදුරටත් සිසුන් දේශපාලනීකරණය වන්නේ නැත. සිදුවන්නේ ඔවුන් තුල වෛරයේ බීජ පැලකිරීම පමණි. මෙම වෛරය එල්ල වන්නේ ප්‍රධාන වශයෙන් පරිපාලනයට හා අලයින්ටයි. අලයන් වන්නේ මොවුන්ගේ ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම නවක වදයට, සහභාගී නොවන අයයි. තවද නගරයෙන් පැමිණෙනා අය අලයින් වශයෙන් අර්ථ දැක්වීමද බහුලව සිදුවේ. මේ ආකාරයෙන් සරසවිය තුල සීමා මායිම් සලකුණු කෙරෙන අතර ඒවා ආරක්ෂා කිරීමට යොදා ගන්නා මුර බල්ලන් වන්නේ මෙම තෙල බැඳී අමනයින්ය.

මොවුන්ට අනුව සරසවි භුමිය අයත් වන්නේ ඔවුන්ටයි. ඒ තුලට කිසිදු පිටස්තරයෙක් නෑවිත් සිටිය යුතුය. එනවානම් ඔවුන් කියනා ආකාරයට සිටිය යුතුය. රටේම ජනතාවගේ මුදල් වලින් පවත්වාගෙන යන සරසවිය ඔවුනගේ බූදලයක් වන්නේ මේ අර්ථයෙනි. මොවුන් කියනා දෙයට විරුද්ධ වුවහොත් ඒ විරුද්ධ වන්නාට අත්වන්නේ භයානක ඉරණමකි. ඉහත ආගන්තුක සිසු පිරිසද අත් වින්දේ එලෙස විරුද්ධ වීමේ ප්‍රතිවිපාකයි.

සත්‍ය වන්නේ සරසවියෙන් පිටතදී මොවුන් අප අළුයම ලූ කෙළ පිඬක්වත් තරම් වටිනාකමකින් තොර වූවන් පිරිසක් යන්නයි. කල්ලි ගැසී සිටිනා විට මොවුන් ට වඩා කෙනෙකු නොවූවත් තනියෙන් හමු වූ විට කතා කරන්නේ කණට ඇසෙන නෑසෙන ගණනටය. පුද්ගල සන්නිවේදනයෙන් ඉතාමත් අන්ත තත්වයක සිටිනා මොවුන් හට උපන් ගති ගුණ යවා ගැනීමට සරසවිය මදි වී ඇත. සරසවියකින් පිටවිය යුත්තේ විද්‍යාර්ථයින් වුවත් මොවුන් පිටවන්නේ යන්තම් සරිකර ගන්නා උපාධි සහතිකයක් පමණක් තබා ගෙනයි. සරසවි ජීවිතය තුල පොතක් පතක් පරිහරණය කර නොමැති බව මොවුන්ගේ පුස්තකාල පොත් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. මොවුන්ගේ ෆැන්ටසිය තුල ශිෂ්‍ය දේශපාලනය යනු මොවුන්ය. නන්දා මාලනීගේ මාකටින් ගීතයක් වන “හන්තාන අඩවියේ” පපුව උස්සාගෙන උත්සව වලදී ගැයීමම මෙය විද්‍යාමාන කරයි.

මෙවැනි පිරිසක් දේශපාලනය මෙහෙයවනවා යන්නම විහිළුවකි. රට තුල දේශපාලනික තත්වය අස්ථාවර විගෙන යන මොහොතක මේ පුඟුලන් සිතා සිටිනුයේ “වලට” දමා තෙල බෙදමින් පැය දෙකෙන් සිසුන් දේශපාලනීකරණය කල හැකියි බවයි. ආරංචියේ හැටියට ඔවුන්ට කොළඹ සරසවිය අල සරසවියකි. ඔවුන්ට මතක් කර දිය යුතු එකක් ඇත. පශ්චාත් 88-89 කාලය තුල ශිෂ්‍ය දේශපාලනය සාධනීය වශයෙන් දියුණු කිරීමට කොලඹ විශ්ව විද්‍යාලය තුලින් ඉටු වී ඇති මෙහෙවර මිල කල නොහැකි බවයි. අක්‍රීයව පවතින පේරාදෙණියට වඩා පුළුල් ලෙස විවර වූ, හුදකලා වූ පේරාදෙණියට වඩා සමාජය සමඟ ගැටෙන ආකාරයේ දේශපාලනීකරණය වූ සිසුන් පිරිසක් කොළඹ සිටිනා බව කිව යුතුය.

නමුත් අන්තරයට විකුණාගත හැකි තර්කය වන ගම නගරය ගැටුම තුලින් බලනාකල ඔවුන්ට කොළඹ දිස්වන්නේ නගරය නියෝජනය කරනා ඒජන්තයෙක් ලෙසයි. “කොළඹ අල යකෝ” යන වදන් පෙල පෙලගැසෙන්නේ ඒ ආකාරයෙනි.

පිටගම්කාරයෙකු ගමට පැමිණිය විගස ගමේ බල්ලන් රෑන බුරාගෙන පනින්නේ හපා කන්නට මෙනි. සමහර විට ආගන්තුකයා බිය වී හැරී යාමටද පුලුවන. නමුත් ගමේ මිනිසුන් කරන්නේ ආගන්තුක සත්කාරය ඉටු කිරීමයි. මෙය මිනිසා හා සත්වයින්ගේ ප්‍රධාන වෙනසක් බව සමාජ විද්‍යාඥයෝ පවසති. බල්ලන් ක්‍රමලේඛනය කර ඇත්තේ අඩවිය ආක්‍රමණය කරනා ඕනෑම අයෙකුට බුරා පැනීමටයි. නමුත් මිනිසුන්ට ඊට වඩා සීතිමේ හැකියාවක් ඇත.

පේරාදෙණියේ මෙම සුළු පිරිසේ ක්‍රියාවන් අපට සිහිපත් කරන්නේද ඉහත බලු රෑනයි. අවලං බලු රෑන් බිහි කිරීම දේශපාලනිකය යැයි සිතා සිටින දේශකවරුද සිටින බව අප අසා ඇත. විශ්ව විද්‍යාලයක සාමාන්‍යයෙන් සිටිනා මාෂල් වරුද නේවාසික ආචාර්ය වරුද මෙම සිසුන් පිරිස වදයට ලක් කෙරෙන තෙක් කා සමග බුදිය ගත්තා දැයි අප නොදනී. නමුත් එයින් ගම්‍ය වන එක් දෙයක් ඇත. ඒ සරසවියේ පාලනය බල්ලන්ට ගොස් ඇති බවයි.

ඒ කෙසේ වෙතත් අප හට ඇත්තේ එක් දුකක් පමණි. ඒ පරමාදර්ශී විය යුතු සරසවියක් මෙවැනි තත්වයකට පත්වීම පිළිබඳවයි.

පේරා, අපි ඔබ නැවත නැගිටින තෙක් උපේක්ෂාවෙන් බලා සිටිමු.

සරසවිය රසවිය සවිය විය

සරසවිය රසවිය සරසවිය සරසවිය

මේ ඕපන් එකේ තොටුපලට ඉදිරිපත් කරලා තිබුන මුල්ම නිර්මාණයක්. නිර්මාණකරුගේ නම මතක නැති වුනත් සරසවිය ගැන කියන්න තියෙන දේ සරලව මට ප්‍රකාශ කරන්න ඉඩ දීපු ඔහුට/ඇයට මගේ ප්‍රණාමය.

සරසවියට පයක් ගහන්න ඕනෙ කියන සිතුවිල්ල ආවේ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලේ. ඒක නිසා මැරීගෙන පාඩම් කරලා යන්තම් විබාගේ පාස් කර ගත්තාම මට පුදුම සතුටක් ආවා.

අපි කියවලා තියෙන සරසවිය ඇත්තටම තියෙන සරසවියෙන් සම්පූර්ණයෙන් වෙනස් තැනක් කියලා තේරුම් යන්න කොළඹ විශ්ව විද්‍යාලයට පය ගහලා වැඩි කාලයක් ගියේ නැහැ. මම බලාපොරොත්තු වුනේ ටිකක් විතර පරමාදර්ශී තැනක්. මොන පිස්සුද?

සුදු, කළු, අළු… මේ ඔක්කොම මිනිස්සු මේක ඇතුලේ පිරිලා. සුදු අය බොහෝම අඩුයි. සුදු හුණු ගාගත්ත අය බොහෝම වැඩියි.

සමානාත්මතාවය ගැන බලාපොරොත්තු තියාගෙන ඒ ගැන පාඩම් තියන්න ගියාට… මොන බම්බුවක් ද? ගමේ උන්…..කොළඹ අපි…

මාසයක් ඇතුලතදි පොරවපු බැටළු හම අයින් කරලා වෘක ගති එළියට දාගන්න අපිට ගියේ මාස හතරක් වගේ කාලයක්. ඒ පොරවපු අය “මෑන්ස්” ලා කියලා හිතාගෙන හිටියට අපේම එකෙක්ගෙන් කණේ පාරක් මේ එක මෑන්ස් කෙනෙක් කනකොට ඒ ප්‍රතිරූපයත් දියවෙලා ගියේ ගහෙන් වැක්කෙරෙන ලාටු වගේ.

සමහර අය බැච් එකට වැඩ කරන්න ආවා. සමහර අය බැච් එකට වැඩක් දෙන්න ආවා. ආවා.. ගියා..

අපි හුඟක් අය හිතුවේ ඔරියන්ටේෂන් එක අවුල් විදියට දීපු නිසයි මෙහෙම වුනේ කියලා. ඒක ඇත්ත. පිස්සු කියව කියව හිටියට ඒ මාසේ ඇතුලත හරි හමන් දෙයක් දෙන්න අපේ සීනියර්ස්ලට බැරි වුනා. හැබැයි මම හිතන්නේ සරසවියෙන් පරමාදර්ශයක් බලාපොරොත්තු වුන අපිත් වැරදි.

මේක ඇතුලේ ඉන්නේ පිට සමාජයෙන්ම සාම්පලයක් විදියට ගත්ත කොටසක්.

මේ හේතුව නිසාම පැහැදිලිවම අර කවිය ඇත්ත. සරසවිය අපිව සවිමත් කලා. සමාජය ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකට අපිට අවුරුදු තුනකින් ක්‍රෑෂ් කෝස් එකක් දුන්නා.

සරසවිය අපිට රසවත් වුනා. සීයට අසූවක් අහක බලනකොට රෑ දවල් මැරීගෙන වෙල්කම් සංවිධානය කරපු හැටි, පළු යන්න බැණුම් අහගෙන ස්වර්ණසර සංවිධානය කරපු හැටි, හෙට විබාග තියාගෙන අද මල ගෙවල් වල ගිය හැටි.. මේ හැම දෙයක්ම අපිට රසවත් වුනා.

පලවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ ලෙක්චර්ස් යන එක සමහර අයට තිත්ත වුනා. සමහර අය මැරුණත් ලෙක්චර්ස් ගියා. මම ලෙක්චර්ස් ගියා. අන්තිම පේළියේ ඉඳන් නිදා ගත්තා.

සමහර අය දිගින් දිගටම කැම්පස් එකෙන් ගන්න කොට අපි හිතුවා කැම්පස් එකට මොනව හරි දෙන්න ඕනෙ කියලා. ශිෂ්‍ය සංගමයත් එක්ක එකතු වෙලා UCSCLodge එක නිර්මාණය කරන්න මම යොමු වුනේ ඒකයි. මම දාපු නම එහෙමම තිබුනට මම දැන් මේ අඩවියේ වැඩ කරන්නේ නැහැ. ඒ අඩවියත් දැන් ක්‍රියා කරනවද කියන්න මම දන්නේ නැහැ.

ඊට පස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සංගමයට සංස්කාරක විදියට ඉදිරිපත් වුනේ වැඩක් කරන්න කියලා හිතාගෙන. සාමාන්‍ය ප්‍රමාණයක වැඩ කොටසක් එතනින් සිදු වුනා කියලා මම හිතනවා.

කොළඹ විශ්ව විද්‍යාලයීය ගවේෂණ සංගමය නැවත ආරම්භ කිරීමට මම එකතු වුනේ මීට කලින් කරපු කිසිම දෙයකින් හිත සතුටු වුනේ නැති නිසා. අපිට අවුරුදු දෙකකට කලින් හිටිය ජ්‍යෙෂ්ඨයින් ක්‍රියාකාරීව මේක කරගෙන ගිහින් තිබුනත් අපේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පසු බැහැලා තිබුනා. මේක නැවත ආරම්භ කරන්න මූලිකව කටයුතු කලේ “දියත් කුලේ” ලියන ආගන්තුකයා. ඔහු සමග රුසිරු, පහන්, අපේ කණිෂ්ඨයො වෙන සුජිත්, අත්තා, වගේ තවත් අය එක්ක අපි නැවත ගවේෂණ සංගමය පණ ගැන්වුවා. ගවේෂණ සංගමය කියන වචන ටික මේ සංගමයේ අරමුණ කිසිසේත්ම සන්නිවේදනය කරන්නේ නැහැ. නමුත් අපි ඒක වෙනස් කලෙත් නැහැ. ලංකාව වටේ අඩු පහසුකම් තියෙන ඉස්කෝල වලට ගිහින් අපිට පුලුවන් අයුරින් දැනුම බෙදා දෙන්න මේ අය ඉදිරිපත් වුනේ සමහර වෙලාවට වැදගත් assignments  ඉඳන් පාඩු කරගෙන.

ඊට පස්සේ අපි තවත් වැඩක් කලා.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය තුල පළමුවරට අපි සඟරාවක් ආරම්භ කලා. තවත් පරිගණක සඟරාවක කරන්න බලාපොරොත්තු නොවුන අපි ඒකෙන් බලාපොරොත්තු වුනේ සිසුන්ගේ නිර්මාණ හැකියාවන් වර්ධනය කරන්න. දැනටමත් අල වෙලා ඉන්න අපේ බැච් එකවත් අපේ කණිෂ්ඨයින්ගේ බැච් එකටත් වැඩිය සඟරාවෙන් අපි අරමුණු කරගත්තේ අපේ කණිෂ්ඨයින්ගේ කණිෂ්ඨයො. ලෙක්චර්ස් පාඩු කරගෙන මරදානට බඩ ගගා අතින් සල්ලි වියදම් කරගෙන අපි පලවෙනි නිකුතුව කොහොම හරි නොවැම්බර් වල සිදු කලා. මුද්‍රණාලයෙදි පළමුවරට මේ සඟරාව අතට ගන්නකොට අපිට දැනිච්ච දේ වචනවලින් කියන්න බැහැ. මේ දේටත් මාත් එක්ක එකට වැඩ කලේ ආගන්තුකයා, පහන්, බම්බා (සුජිත්) සහ අත්තා.

උඩින්ම මම දාලා තියෙන නිර්මාණය ඉදිරිපත් කරපු තොටුපල කියන බිත්ති පුවත්පතත් අපේ ආපන ශාලාවේ ස්ථාපනය කලේ ගවේෂකයින් විසින්. තවදුරටත් පරිගණක වලටයි දේශන වලටයි කොටු වෙලා සටහන් වලටම ජීවිතය දිය කරනවට වැඩිය දෙයක් කරන්න කියලා අපි අපේ නංගිලා මල්ලිලට පණිවිඩයක් දෙන්න හැදුවා. ඒක ග්‍රහණය කර ගත්ත ද කියන එක බලන්න වෙන්නෙ තව අවුරුදු ගාණකට පස්සේ.

මේ විදියට ගෙවිලා ගිය සරසවි ජීවිතය අන්තිම කාලෙට දන්නෙම නැතුව ඇවිත්. තව සාමාසිකයක් ඉතුරු වෙලා තිබුනට ඉන්ටර්න්ෂිප් එකට ඒක කැපවෙන නිසා සරසවි ජීවිතයේ අන්තිම දවස් ටික මේ කියලා කිව්වට වැරදි නැහැ.

අන්තිම දවස් වලත් අපි සරසවි භූමියට පය ගහපු දවස ඊයේ වගේ මතකයි. මේ මායිම් ඇතුලේ අපි අත්විඳපු දේවල් ජීවිතය තියෙන තාක් කල් අමතක වෙන දේවල් නෙමෙයි. අපි ඒවා අපේ විදියට තේරුම් ගත්තා. අපි සරසවියට ඇතුල් වුනේ එකෙක් විදියට. පිටවෙන්නේ ඒකාට වඩා සහමුලින්ම වෙනස් එකෙක් විදියට. තව අවුරුදු දෙක තුනකින් අපි තවත් එකෙක් වෙයි. හැබැයි අපිට කවදාවත් සරසවිය අමතක වෙන එකක් නැහැ. මොකද අපි දෙවෙනියට ඉපදුනේ සරසවිය තුල දි නිසා. හොඳට හෝ නරකට ලබාපු පන්නරය ලැබුවේ ඒක ඇතුලෙදි.

සරසවිය රසවිය සරසවිය සරසවිය

ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර

අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි.

සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු.

කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්.

ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් වේ ගෙන එන, ආසියාවෙන් චීනය හා ඉන්දියාව තර්ජනයක් වෙමින් තියෙන, යුරෝපය සහය පළ කිරීමට අකමැතිව ඉන්න කාලෙක මේ පොඩි දූපත ගැන වද වෙනවට වැඩිය ඔබාමට වෙන වැඩ තියෙන්න ඕනේ. ජාත්‍යන්තර කුමණ්ත්‍රණ නැතුව නෙමෙයි. හැබැයි ඉතින් බාල රබර් පාවිච්චි කරලා වැරදිලා ලමයි ඉපදෙනකොට අල්ලපු ගෙදර එවුන්ට බැනලා වැඩක් නෑ නෙ. රට දියුණු කරන්න කලින් හැතැම්ම දාහස් ගානක් දුරින් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් අපිට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා ඇති කියන මානසිකත්වය නැති කරගන්න කියලා කියමනක් තියෙනවා (මේ කියමනත් අර කුමණ්ත්‍රණයේම කොටසක් කියයි ඔය දේශප්‍රේමී අය).

සරත් මහින්ද අන්තිම සටනෙදි මේ කුමණ්ත්‍රණ කතා වැඩි වැඩිය එළියට බැහැලා තියෙනවා. රනිල් ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සම්බන්දන් එක්ක. සම්බන්දන් ගැහුවලු ඉන්දියාව එක්ක. ඉන්දියාව ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සුද්දා එක්ක. සුද්දා ගැහුවලු සුද්දා එක්ක.

මේ ගැන අපිට කියන්න තියෙන්නේ නම් මේ වගේ කතාවක්.

පොඩි කාලේ ලමයි කීකරු වෙන්නේ නැති වුනාම අම්මලා පෙන්නනවා ගෝනි බිල්ලො, හප්පො, අරුන් මුන් එක එක ජාති කළුවරේ. අපි ඇත්තටම දැකලා නෑ. හැබැයි අපි බිල්ලගෙන් බේර ගන්න කියලා අම්මට කීකරු වෙනවා.

දැනුත් පොඩි බබ්බු වගේ ඉන්න කැමති අය මේ කතා වමාරලා කන එක වැඩිය හොඳයි. කොහොමත් ලංකාවේ වැඩිය ඉන්නේ තොත්ත බබාලනේ. වැඩිහිටියන්ට මොනවත් එපා කිව්වේ ඒකනේ.

විදේශ බලපෑම් ගැන බලනකොට අපි පළු යන්න බනින්නේ සුද්දට. ඒත් අපිට එහා පැත්තේ ඉන්න චීනා ගැනවත්, ඉන්දියාව ගැනවත් වැඩිය සද්දයක් නෑ. ජවිපෙ බිල්ලට ඉන්දියාව අල්ලගන්නවා තමයි. හැබැයි චීනය ගැන ඒ අයත් අළු කෙහෙල් කාපු උගුඩුවො වගේ. කලාපයක රටක් බලවත් වෙනකොට ඒ බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ අසල්වාසීන්ට. ඇමෙරිකානු බලපෑම ලතින් ඇමෙරිකාවට බලපෑවේ/බලපාන්නේ අදත් ඒ විදියට.

හම්බන්තොට වරාය, චීන ණය, අවි ආයුධ ගනුදෙනු වෙනුවට අපි අනාගතයෙදි මොනවා පරිත්‍යාග කරයිද කියන එක හිතලා බලන්න බැරි වෙලා තියෙනවා කාටවත්. මර්වින්ගේ එදිනෙදා විහිළු, ටිල්වින් කට වරද්දගන්න හැටි, විමල්ගේ ගොන්පාට් මෙහෙයුම්. මේවා තමයි දැන් දේශපාලනය. ඉස්පාසුවක් නැතුව ආතල් දෙන, ආතල් ගන්න, බෙරි වෙච්ච බත් එකක් වෙලා තියෙන ලංකාවේ දේශපාලනය. මේ හැම එකක් අස්සෙම අපේ පිච්චියට තට්ටු කරන්න හැම පාලකයෙක්ම සමත් වෙනවා.

අපි ඉතින් හැමදාම අල්ලපු ගෙදරට බැන බැන ඉමු. බාල රබර් පාවිච්චියත් උන්ගෙම කුමණ්ත්‍රණයක් කිය කිය.