Out In The Open Rotating Header Image

නෙලුම් කොලේ බත්

මහත්තයා එන්න, නෝනා එන්න

එන්න රසට වේල කන්න

නෙලුම් කොලේ

ගමේ විදියට

කොල්ලට

ඉස්කෝලෙ උන් ඔච්චම් කලාට

නෙලුම් කොලේ බත්

නෝනලට රසයි නේද?

ගමේ කෑම නෙලුම් කොලේ

ටේක් අවේ

ඔතලා ගන්න

ඩිකියට දාල දෙන්නද මහත්තයා?

හැඳි වලට වෙනම ගන්නව නෝන

(පින්තූරය: මෙතනින්)

CLSA 2010 අත්දැකීම | The CLSA 2010 Experience

පරිගණක තාක්ෂණය ලංකාව තුල ප්‍රචලිත වීමත් සමඟ ඇති වුන ප්‍රවණතා වලින් ඉතාමත් සාධනීය වෙන්නේ දේශීයකරණය කෙරෙහි ඇතිවුන නැඹුරුව. සිංහල යුනිකේත සම්මතය එන්නත් කලින් ඇස්කි ෆොන්ට නිර්මාණය කර ගෙන ලංකාව ලෝකය තුල තමන්ගේ අනන්‍යතාවයක් තියාගෙන නැගිටින්න හැදුවා. යුනිකේත සම්මතය තුලට සිංහල ඇතුලු වීම මේ කෙරෙහි තවත් හොඳින් බලපෑමක් එකතු කලා. තවමත් විශාල ජනතාවක් අතරට ගොස් නැතත් සිංහල යුනිකේත අනාගත සිංහල පරිගණක ක්ෂේත්‍රය තුල විශාල මෙහෙවරක් ඉටු කරන බව පැහැදිලියි.

මොරටුව සරසවියට අනුබද්ධිත ලක්ඇප්ස් ආයතනය මගින් සංවිධානය වන දේශීයකරණ පද්ධති හා යෙදුම් සම්මන්ත්‍රණය ලංකාව තුල දේශීයකරණයේ නියැලෙන පුද්ගලයින් එක් කර ගැනීමේ ධනාත්මක ව්‍යායාමයක් විදියට හඳුන්වන්න පුලුවන්. විවිධ ඉලක්ක ඔස්සේ විවිධ පද්ධති ඔස්සේ දේශීයකරණයේ යෙදෙන අය අතර නිසි සම්බන්ධතාවයක් ඇති කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ එක් ප්‍රධාන අරමුණක් බව පැවසෙනවා. 2010 වසරේ දෙවැනි වරටත් මෙය අගෝස්තු 20-21 දින වලදී කලුතර රාමදා හෝටලයේදී පැවැත්වුනා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉතාමත් සාර්ථකව මෙය පැවැත්වුන බව කියන්න පුලුවන්.

ඉතාමත් වටිනා පර්යේෂණ කිහිපයක්ම මෙහෙදී ඉදිරිපත් වුනා. Transliteration සම්බන්ධ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වී තිබුනා. ඒ වගේම වැඩි අවධානයක් යොමු වුන අංශයක් වුනේ ජංගම දුරකථන ආශ්‍රිත සිංහල දර්ශනය කර ගැනීම සම්බන්ධව තිබුන ඉදිරිපත් කිරීම් හා පත්‍රිකා කිහිපය.

ඉංග්‍රීසි හා සිංහල අතර යාන්ත්‍රික පරිවර්තන පර්යේෂණය, සිංහල සඳහා පරිවර්තන මතක පද්ධතියක පර්යේෂණය, යාපනය සරසවිය හා පරිගණක ආශ්‍රිත රැකියා වල නියුතු කිහිප දෙනෙක් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම විහේෂ කරුණක් වුනා. එක දිගට දින කිහිපයක් විදුලි බලය හා දුරකථන පහසුකම් විසන්ධි වෙන අතර තුර යාපනය සරසවිය විසින් දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රයත්න දැරීම ප්‍රශංසනීයයි.

බ්ලොග් කරුවන් අතරින් පහන් විසින් මෙහිදී දේශීයකරණය ආශ්‍රිත වෙබ් බ්‍රව්සර් ප්ලගින කිහිපයක් හඳුන්වා දුන් අතර රවිමල් විසින් ජංගම දුරකථන තුල J2me භාවිතයෙන් සිංහල නිවැරදිව දර්ශනය කිරීමේ මෘදුකාංගයක් හඳුන්වා දුන්නා. දසුන් සමීර විසින් ඔහුගේ KeyTouch IME එක සහ indicscripts.com transliteration වෙබ් අඩවිය හඳුන්වා දුන්නා. මම PHP හා CodeIgniter ආශ්‍රයෙන් අන්තර්ජාතිකකරණය (Internationalization) කරන ලද වෙබ් අඩවි නිර්මාණය පිලිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කලා.

තාක්ෂණික කරුණු වලට අමතරව දේශීයකරණය ජනතාව අතර කොතරම් දුරට ව්‍යාපත් වී තිබේද යන්න ගැනත් පර්යේෂණ ප්‍රතිපල ඉදිරිපත් කිරීමක් සිදු වුනා. මෙහෙදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇසුරෙන් කරන ලද සමීක්ෂණය සිත් ඇද ගන්නා සුලු එකක් වුනා. පත්‍රිකා හා ඉදිරිපත් කිරීම් වලින් අනතුරුව පැවති සාකච්ඡා වලදී දේශීයකරණ ක්‍රියාවලිය තුල ඉදිරියේදී වැදගත් විය හැකි අංග කෙරෙහිත් අවධානය යොමු වුනා.

පලමුවැනි වර නොමිලයේ ඇතුලු වීමට අවස්ථාව ලැබුනත් 2010 සම්මන්ත්‍රණය සඳහා රු 2500ක මුදලක් අය කර ගෙන තිබුනා. සම්මන්ත්‍රණයේ සංවිධානයත්, ලබා දී තිබූ පහසුකම් අනුවත් බැලූ විට රු 2500 ඉතාමත් සුලු මුදලක් වගේ අපිට හැඟී ගියේ. කෙසේ නමුත් ගිය වරට වඩා සහභාගීත්වය මෙවර අඩු බවක් දැනුනා. බොහෝ විට මේ මුදල ඊට හේතු වුනා විය හැකියි. නමුත් වෙනත් බොහෝ සම්මන්ත්‍රණ හා සසඳන විට මේ මුදල ඉතාමත් ලාභදායී බව කිව යුතුයි.

සම්මන්ත්‍රණයේ පින්තූර කිහිපයක් මෙතනට ගිහින් බලන්න පුලුවන්. සම්මන්ත්‍රණයේ අත්පොත් ලඟදීම ලක්ඇප්ස් වෙබ් අඩවියෙන් ලබා දෙන බවක් පැවසුනා.

මගේ ඉදිරිපත් කිරීම

මගේ ඉදිරිපත් කිරීම

රවිමල්

දසුන් සමීර

පහන්

අපේ කාමරෙන් එලිය

මීට, අශීලාචාර ආදරවන්තයා

මම ලියන්න පටන් අරගෙන හිත හිස් වෙනකන් ලියාගෙන යනවා.. අරූට එහෙම කිව්වට ඒක ලේසි නැහැ.

හිතේ තියෙන දේ ලියන්නෙ කොහොමද?

කුණු බාල්දියෙත් කොල පිරිල. පොතෙන් තව කැඩුවොත් මට ඔයාට එවන්න වෙන්නේ ධර්මෙගේ සටහන් ටිකකුත් එක්ක තමයි.

ආදරේ… ආදරේ…ද්‍රෝහියා.. ආදරේ.. ආදරේ… ආදරේ… ගිනිගන්න ආදරේ..ආයෙත් ආදරේ… ආදරේ..

මේ මගේ හිතේ දැන් පෙන්වන නාට්‍යය. ආදරේ ඇතුලේ ගිනිගෙන දැවෙන ආදරයක් කරන ද්‍රෝහියෙක් ගැන ආදරණීය නොවන කතාවක්. රාජ්‍ය සම්මාන ලැබෙන්නේ නැහැ තමයි. චාරයක් නැති කතා වලට රාජ්‍ය සම්මාන දෙන එක නවත්තලලු. ඒකටත් පෙලපාලියක් යන්න ඕනෙ.

අපි හැමදේටම පෙලපාලි යන්න ඕනෙ. නිදහසේ පෙලපාලි යන්න ඕනෙ. මම එතකොට පෙලපාලි යනවා නිදහසේ ආදරය කරන්න ඉඩ දියව්! කියල. ආදරේ චාරය වහා තහනම් කරව්! කියල. මගේ ආදරේට චාරයක් නැහැ. ඔයාට චාරයක් තියෙනකම් ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ.

අද ටිකක් හිස බමණ නිසාද මන්ද කොලෙන් බාගයක් විකාර ලියල නාස්ති කලා. ඒත් එහෙම පෙලපාලියක් ගියොත් ඔයත් මාත් එක්ක එකතු වෙනවද ආදරේ චාරය නැති කරන්න? ඒක මට දැනගත්තොත් ලොකු දෙයක්. මට පුලුවන් පෝස්ටර් ඉඳන් ලියන්න. ඔයා මාත් එක්ක එනවද කියන්න පෙලපාලියට?

ඉඩ මදි වේගෙන එන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

මම ආදරේ ඔයාට. වෙන කාටවත් නෙවෙයි.

මීට,

අශිලාචාර ආදරවන්තයා

(මිතුරෙක් ආශ්‍රයෙන් යතුරු කරන ලදී)

වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.

වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.

අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.

වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.

වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්

වින්ග් චුන් ප්‍රහුණුවේ වැදගත් අංගයක් වන Wooden Dummy පුහුණවේ යෙදෙන යිප් මාන්

යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.

යිප් මාන් සමඟ බෲස් ලී

විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.

ග්‍රෑන්ඩ් මාස්ටර් විලියම් චුන්

ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.

කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.

සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.

It’s just dawned on me!

This Broken Sword’s scroll isn’t about sword technique

but about swordsmanship’s ultimate ideal

…..

Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart

The swordsman is at peace with the rest of the world!

වින්ග් චුන් ආකාර සඳහා පහත වීඩියෝව බලන්න.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන් පිළිබඳ කුඩා වාර්තා වැඩසටහනක්

විවිධ වූෂු ශෛලීන්

Nanquan Wushu

Nanquan Wushu

Nan Dao - Southern Style Sword

Broad Sword

Long Sword සංදර්ශනයක්

සුබස එලි බසී

පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධ සේවා සැපයීම මුලීක කර ගත් සුබස (subasa.lk) වෙබ් අඩවිය අද කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යනායතනයේදී නිල වශයෙන් විවෘත කෙරුණා.  සුබසේ මූලික අරමුණ පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධයෙන් තිබූ අවශ්‍යතාවයන් එක මධ්‍යගත තැනකින් සේවා විදියට ලබා දීම. මේක භාෂා තාක්ෂණ පර්යේෂණායතනයේ ව්‍යාපෘතියක්.

සුබස වෙතින් ලැබෙන වටිනා සේවයක් විදියට අකුරු විනිස පිරික්සුව දකින්න පුලුවන්. බ්ලොග්කරුවන් විදියට අපි හැමෝම ලියන්නො වුනාට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන වද වෙන්න තරම් දැනුමකුත් කාලයකුත් බොහෝ දෙනාට නැහැ. නණලළ භේදය ආදී කරුණු ගැන නොයෙකුත් වාද විවාද තිබුනත් අවශ්‍ය අයෙකුට ප්‍රයෝජනයට ගන්න මේ වගේ දැනුම් සම්භාරයක් මීට කලින් තිබුනේ නැහැ. ඒ වගේ අවස්ථාවක මේ විදියෙ වෙබ් අඩවියකින් ඒ පහසුකම ලබා ගැනීමට හැකි වීම වටිනා දෙයක්. බ්ලොග්කරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විදියට ජනප්‍රිය වීමටත් මෙයින් අවස්ථාව ලැබෙනවා. ඉදිරියෙදි මේ සේවාව API එකක් විදියට මෘදුකාංග සංවර්ධකයන්ට විවෘත කිරීමට හැකියාවක් පවතින නිසා මෙහි වටිනාකම ඉහලයි. අකුරු විනිස පිරික්සුම් සේවාව ලබා දීමට ප්‍රයෝජනයට ගන්න සිංහල වාග් සංහිතාවක් (Text Corpus) එකක් එක් රැස් කිරීමේ ව්‍යාපෘතිය භාෂා තාක්ෂණ පර්යේෂණායතනයෙන් සිදු කෙරෙන්නක්.

මීට අමතරව මංගත යතුරු පුවරු (ෆොනටික ක්‍රමයද ඇතුලුව), ඇස්කි සිට යුනිකේත පරිවර්තක සහ සිංහල භාෂාව පිළිබඳ වැදගත් පොත් කිහිපයක් සුබස වෙබ් අඩවිය විසින් සේවාවන් ලෙස ලබා දෙනවා. ඊට අමතරව මෙතෙක් කල් EnSiTip ලෙස තිබුන Firefox extension එක ඉඟිය ලෙස වෙනත් දත්ත සමුදායක් යොදා ගනිමින් එලි දක්වා තිබෙනවා.