
“බත්තලංගුණ්ඩුව” පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්‍යත්වයේ ප්‍රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි.
ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් යන ඔහු අන්තිමේදී සොයා ගන්නේ ඔහු සෙවූ පියා ඔහු තුලම සිටි බවයි.
“කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුනා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව”
ගන්ධබ්බ ආත්මයකට පරිපූර්ණ වූත් අවංක වූත් මිත්‍රත්වය මුණ ගැසෙන්නේ තිතක් වත් නොවන බත්තලංගුණ්ඩුවේදීය. සින්බෑඩ්, ක්‍රිස්ටො පුද ලබන මිත්‍රත්වය හා සමානම මිත්‍රත්වයක් ඇන්ටනී එවෙලේ අඳුන ගන්නා පොලිස් කොස්තාපල් වාස් වෙතින් අත් විඳී.
නාගරික පරිසරයක දහසක් මිනිසුන් මැද බිත්ති සතරක සිරකරුවන් වී ප්‍රේමය රඟ දැක්වූවන් නිදහස අත්විඳින්නේ බත්තලංගුණ්ඩුවේදී ය. ගැහැණියෙකුත් මිනිසෙකුත් අතරට කඩා වැදි සමාජය විසින් පනවනු ලැබූ දම් වැල් බිඳී වැටෙන්නේ එහිදීය. ආනමරියා එම යදම් බිඳ දමන්නේ ඇන්ටනීටත් නොදැනෙන සෞම්‍යත්වයෙනි.
“නාගරික ප්‍රේම දුක්ප්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක ප්‍රේමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද? මා මෙතරම් ම නිදහස් ව ප්‍රශ්වාස සුසුම් හා මුසුකොට පාකොට හරින්නේ මෙතෙක් මා අත් විඳි හෘදයේ අධි පීඩනය නොවේ ද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළඟින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරෙක්ද?”
තමාගේ පුත් හා තම තරුණ බිරිඳ එක් වෙන බව දැන ගන්නා ඇඩ්ඩින් මුදලාලි අසම්මත පෙම්වතුන් ලෙස ඔවුන් හඩු නොගසා ඒ බව ඉවසා සිටින්නේ එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වාභාවය බව දැනගෙන ද? තරුණ ගැහැණියෙකුත් තරුණ පිරිමියෙකුත් අතර ලිංගිකව ඇති වෙන සබඳතාවයක ඇති අසාමාන්‍ය බව කුමක් ද? සිත් තුල ඇති වෙන අසාමාන්‍ය බව හුදෙක් සමාජ නිර්මිතයින් පමණක් නොවෙ ද?
එක් එක් පුද්ගලයා මත සමාජය විසින් පවරනු ලබන සියලු චරිතයන් දියව ගොස් ඒවා නැවත මුල සිට අර්ථ දැක්වෙන ආකාරය ඇන්ටනී අත් දකින්නේ මුල් වතාවට ය. මානුෂික සබඳතා රඳා පවතින්නේ මනුෂ්‍යයින් මත බවත් සමාජ නිර්මිත නාමයන් මත නොවන බවත් ඔහු අත් විඳී.
“ඇන්ටනී, කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නේ නෑ. සමහර විට ඒ මගේ අම්මවත්, ආත්තම්මවත් නොවෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නම වෙන්නත් පුලුවන්.”
බත්තලංගුණ්ඩුව තුල රාජ්‍යයක් නොමැත. රාජ්‍ය නීතිය ඒ තුල බල නොපායි. පොලීසිය, හමුදාව හා විමුක්ති කොටි වෙසෙන විල්පත්තුව මධ්‍යයේ ඒ සියල්ලටම වියුක්තව බත්තලංගුණ්ඩුව ස්ථානගතව ඇත. භෞමික අඛන්ඩතාවය, ජාතිවාදය, විමුක්තිය ආදී සංකල්ප මෙම කොදෙව්වට වලංගු නැත. එහි ඇත්තේ මනුෂයත්වය පමණි. එහි ගහ මරාගන්නේ විමුක්තිය උදෙසා නොව ස්වභාවිකව අවශ්‍ය මූලික සංකල්ප සපුරා ගනු පිණිසය. නේවි එකෙන් කකුල් කැඩූ ඩිඩාකස් හට කොටි පිළිබඳ කරුණාවක් නොමැත. කොටින් විසින් බෝට්ටුව උදුරා ගනු ලැබූ ඇල්බා හට රජයට පක්ෂපාතීත්වයක් නැත. සංකීර්ණ සංකල්ප වෙතින් සම්පූර්ණයෙන්ම නිදහස් බවක් එහි නිතරම පවතී.
මෙකී නොකී සියලු නිදහසින් පිරි බත්තලංගුණ්ඩුව නාගරිකයාට ඊඩ්න් උද්‍යානයයි. වරෙක පිටුවහල් කරනු ලැබූ ඇන්ටනී නැවත එහි පැමිණ අත් විඳින විමුක්තියත්, විපර්යාසයේ තෘප්තියත් පිළිබඳ වීර කතාව මංජුල වෙඩිවර්ධනගේ “බත්තලංගුණ්ඩුව”යි.
“හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතය මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස…. හැම තැනම අහස…..
අහස.”


පට්ටෙට ලියලා තියෙනවා. කියවලා මාත් අදහසක් දෙන්නම්. එක අද වෙයිද හෙට වෙයිද කියලා කියන්න බෑ ඒත් මම අනිවා කියවනවාමයි..
රැයක් එළිවෙනකං සෙටි වෙලා කතාකරන්න ඕන පොතක්…මේ පොත බැලුවම අපේ තියෙන ස්ට්‍රෙස් රිලිස් වෙනවා වගේ.පොත ගැන උඹේ සටහනත් ඇත්තටම හිත්ගන්නා සුළුයි.
මේක කියවලා අපේ ලොකු අම්මා ලංකාවට ගිහින් එන දවස ගැන තව තව ඉවසීලීමත්බව නැති වුණා වගේ.
ආගන්තුකයා, මේක අනිවා බලන්න ඕන පොතක්. උඹ කොපි දෙකක්ම ගත්තේ :p
පාලිත, ස්තූතියි මචන්. ඇත්තටම සෙට් වෙන්න ඕනෙ. ඒ වැඩේ කල් නොයව කලින් වගේ කලොත් හොඳයි නේද? මට මේ පොත බලද්දී ආවේ In To The Wild බලද්දි හිතුන හැඟීමමයි. මේ නිදහස ලබා ගන්න ඕනම දෙයක් කරන්න පුලුවන් තත්වයකට කියවන්නා පත්වෙනවා.
බින්කු, ඉතාලි පැත්තෙන් ආවනම් ළඟයි :p
පොත ගත්තා උනාට තාම කියවන්න බැරි උනා. හෙට අනිද්දම පටන් ගන්න ඕනි කියලා හිතුනා මේක දැක්කම
thaks machan,
නියමයි. සිරාවට ලියල තියෙනවා.
පොත කියවලා සතියක් දෙකක් ගතවෙලා තිබුනත්, ඒ කියවීමත් එක්ක දැනුනු හැඟීම් මේ මොහොතේත් ජීවමානයි වගේ,
ලියා ඇති ශෛලිය විතරක් නෙමෙයි, ඒ යටින් දිවෙන ජීවිත දර්ශනය පවා අපූරුයි. ඒකත් එක්ක දැනුනු හැඟීම් වචන වලට කැටිකර ගන්න එක පවා අමාරු වැඩක්.
quoted:,
http://tinyurl.com/ygegykg
මමත් මේ පොත කියෙව්වා… කියල වැඩක්නෑ නියමයි!!!! ඒ වගේම බත්තලන්ගුන්ඩුව බලන්න යන්නත් හිතුනා
අනේ . . මට මෙ පොත ගෙන්න ගන්න විදිහක් නෑ නේ
ශ්‍රි ලංකාවෙ ඉන්න කලේ අහම්බෙන් කියවන්න ලබුනා මේ පොත ….ඇත්තටම අමුතුම ලොකයක අතරමං වුන ……ලංකාවෙන් කි.මි.35000 ක් ඈත හිටියත් නැවත මේ පොත කියවන්න කියල හිත මත් එක්කම රණ්ඩු කරන්න පටන් ගත්ත….අන්තර්ජාලයට පිං සිද්ද වෙන්න ….අයෙත් මම මගේම ලොකයේ “බත්තලංගුණ්ඩුවත් ” එක්ක තනිවෙල…..ස්තූතියි…..
ෙපාත කියවලා දැන් හුග දවසක් ෙවනවා ඒත් තවම බත්තලංගුණ්ඩුව ඔළුෙව් ෙහාල්මං කරනවා ඒලම ෙපාතක්